මහා නුගය
විශ්ව විද්‍යාලයේ මාසයක් පමණ එක දිගට රැඳී සිට විභාගය අවසන් වූ සැණින් නිවස බලා යාමට මම පිටත් උනේ ඉතාමත් සතුටෙන්. කොලඹ අවට ජනාකීර්ණ පරිසරයෙන් මිදී වෙල් එළි පසු කරගෙන ගම් ප්‍රදේශයට ලඟා වෙනවා යන හැඟීම දැනෙන විටද හදවත ප්‍රීතියෙන් පිනයයි. මෙදිනද සිකුරාදා හවස නිවස බලා යාමට පිටත් උණා. කුරුණෑගල නගරය මැද යෝධයෙක් මෙන් අභිමානවත්ව නැගී හිඳිනා ඇතුගල හා බුදුපිළිම වහන්සේ පසුකරගෙන යන කල ගමට ළගා වීමේ ප්‍රීතිය සිතට ඇතුල් විය. එය පසු වී ගොස් මගේ ගමට ළගා වූ පසු බසයෙන් බැසගත් මම මගේ ගෙදරට යන පාර දිගේ පයින් ගමන් කළා. ඒ යන අතරතුරේ ගමේ වටපිටාවේ සුන්දරත්වය විදිමින් මම ගමන් කළා.වෙනදා මෙන්ම ගමේ පැවතියේ සාමකමී සුන්දර බවකි.අවට සිරියාවද සුපුරුදු ලෙස අලංකාරවත්ව තිබේ.ඈත මෑත නොපෙනෙන තරම් විශාල කෙත්වතු වලින් මගේ ගම බොහොමත් අලංකාරවත්ව ඇත. බැලූ බැලූ අත නිල්වන් ගොයමය. ගම කෙළවර කඳු පන්තියක් නැතත් අවට කඳු ඉතාමත් සුන්දර ලෙස පවුරක් මෙන් දිස් වේ.ගම කෙළවරින් ශෝභමාන ලෙසත් ගමට සවියක් වෙමිනුත් දැදුරු ඔය අලංකාරවත්ව ගලා බසී. මේ ආකාරයෙන් හැඩ වන මගේ ගම තවමත් ගැමිකමින් බැහැර නොවූ සුන්දර ගමකි.මේවා දකිමින් යන විට මගේ හිත කෙමෙන් කෙමෙන් මගේ පුංචි කාළය වෙත ඇදී ගියා.
"මගෙ පුංචි කාලෙ හරිම සුන්දරයි.. ඒ වගේ සුන්දර කාලයක් මට වගේ තවත් අයට තිබුණිද?"කියා මට වෙලාවකට සිතේ.. අපි ඉස්සර කුඹුරු වැඩ කළේ ගැමි සාම්ප්‍රදායික ක්‍රම වළට අනුව. "අපේ අත්තා හරක් දෙන්නෙක් වියගහේ බැඳලා,නගුලේ ගැටගහලා කවි කිය කිය හානවා.. මම නගුල උඩ නැගලා ටිකක් දුර ගිහින් ආපහු වෙළට වැටෙනවා.."
"තවත් වෙලාවක අපි සම වයසේ යාළුවො එකතු වෙළා මඩ වතුරෙ නානවා,වෙලේ සරුන්ගල් යවනවා,වක්කඩේ ඉහිගෙඩියන් අල්ලනවා,ඔයට ගිහින් දියබුං ගස ගස නානවා,වතුර යටින් හැංගිලා ගිහින් අනිත් අය භය කරනවා,නුග ගහ වටේ හැංගිමුත්තන් සෙල්ලම් කරනවා...."මෙවැනි මතකයන් මතක් වන විටත් මුවගට සුන්දර සිනහවක් නැගේ.
මෙවැනි මතකයන් තුළ ගිළෙමින් ඇවිද යන විට මට අතීතය මතක්
කර වූ අපිට හුරුපුරුදු කුඹුරක් අසළ වෙනදා නොදකින අන්දමේ යමක් මම දුටුවා. මදක් නැවතී බැලූ පසු වෙල් යාය මැද එක් කුඹුරක් පමණක් අස්නොවද්දා තිබුණි. එතන පහන් පැළක් ගසා පහනක් දල්වා තිබුණ අතර කොඩි වැල් දෙකක්ද ලෙළදෙනු දැකගත හැකි විය.මෙතෙක් කිසිම දිනෙක අපේ ගම මැද මෙවන් දෙයක් මම දැක නැත.මෙය කුමක්දැයි කුකුසක් මට ඇති විය.මද වේලාවක් නැවතී බලා සිටියද මට කිසිවක් පැහැදිළි නොවුණ නමුත් පහන් පැළක දැල්වෙන පහන හොදින් පෙනුණි.එය හිරු බැහැගෙන යමින් තිබූ මොහොත බැවින් ඇඳිරි වැටීගෙන ආ නිසා මම තවත් බලා නොසිට ගෙදර ගියෙමි.වෙනදාට ගෙදර ගිය විගසම "අම්මේ මම ආවා.කන්න හැදුවෙ මොනවාද?" කියා ඇසුවද මට මෙදින අවශ්‍ය වූයේ මා දුටු දේ ගැන අම්මා දන්නේ කුමක්ද කිය දැනගැනීමටය.
"අම්මේ මොකක්ද අර වෙළේ තියෙන්නෙ?"කියලා මම ඇහුවා.
"කොතන වෙළේද?"
"අර වෙළේ පහනක් පත්තු කරළ කොඩි දාල තියෙන්නෙ ඇයි?"
"ආ ඕකට ඉතින් කලබල වෙන්න ඕනෙද? මන් කියන්නම්කො විස්තරේ."
"අනේ කියන්නකෝ මොකක්ද ඒ.මීට කළින් එතන පහන් පත්තු කරළ නෑනෙ කවදාවත්."
මා මෙලෙස ඇසූ පසු අම්මා මට විස්තරය කියන්නට විය.
"එතන වෙනද වගේ නෙවේ.කුඹුරෙ අයිතිකාරයො කුඹුර වැඩ කළෙත් නෑ මේ පාර.එතන ලොකු නුග ගහේ බලයක් තියෙනවලු. ඒක දැනගෙන තියෙන්නෙ දැන් මාස දෙකකට විතර කලින්."
අම්මා කියූ දෙය එක වරම විශ්වාස කිරීමට මට නොහැකිවිය. කුඩා කල සිට දැක හුරු පුරුදු නුගය තුළ මෑතකදී වූ මේ වෙනස කුමක්ද?මම අම්මාගෙන් තවත් විස්තර ඇසුවෙමි.
"ඉතින් කොහොමද එගෙම කියන්නෙ? කවුද දැකල තියෙන්නෙ?"
"ඔයා දන්නව නේද සඳුන්ට ගොඩක් අමාරු උණා කියල.හැමෝම කීවෙ එයාව සනීප කරන්න බැරි වෙයි.බෙහෙත් කරල වැඩක් නෑ කියලනෙ."
"ඔව්"
සඳුන් යනු කුඩා කළ සිටම අසනීප වන දැන් වයස විසි එකක් පමණ වන පිරිමි ළමයෙකි. ඔහුට කුඩා කළ සිටම විඩෙන් විඩ වැළඳෙන කිසිවෙකුටත් සුවකල නොහැකි බවට කියා සිටි මුළු ශරීරයම ඉදිමීමේ රෝගයකින් පෙළී සිටි අයෙකි.ඔහු මෙවරද එලෙසින්ම අසනීප වී ඇත.
"ඉතින් කියන්නකො අම්මෙ එයාගෙයි මේකෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?"
"මේ පාර ලෙඩ උනාට පස්සෙ අම්මට සේරම කරන්න අමාරු හින්ද එයාලගෙ ලොකු මාමලාගෙ ගෙදරට එක්කන් අවිත් සිංහල බෙහෙත් කරන්න. එහෙම කර කර ඉන්නකොට කිසිම අඩුවක් වෙලා නෑ මේ ළමයට. දවසක් මෙයා නිදාගෙන ඉන්නකොට හීනෙකින් පෙනිල කියල තියනව ගෙදර ළඟ වෙලේ තියෙන මහා නුග ගහ ළඟ එක දිගට දවස් හතක් පහන් පත්තු කරන්න එතකොට ලෙඩේ සනීප වෙනව කියල.මෙයා ඒක එයාලගෙ මාමලාට කියල පහුවදා ඉඳන් එයල එහෙම කරල. ඒ ළමයට කීව විදියටම සනීප වෙලා. එයාට එහෙම ලෙඩක් තිබුණද කියල දැනගන්නවත් බැරි තරම් හොඳට එයා සනීප වෙලා." අම්මා කතාව කීවාය.
" ඒක විශ්වාස කරන්න බැරි තරම් පුදුමයිනෙ.ඉතින් දැන් මේ ගැන හැමෝම දන්නවද ගමේ?" මම තවත් මේ පිළිබඳව දැනගැනීමේ කැමැත්තෙන් අම්මාගෙන් ඇසුවා
.
"ඔව් දැන් දන්නවා. මුලින්මනම් කාටවත් කියල නෑ. පවුලෙ අය විතරයි දැනගෙන ඉඳල තියෙන්නෙ. ඒත් මේක ඇත්ත උනාට පස්සෙ කට කතාව ගමේ පැතිරිල ගිහින් හැමෝම දැනගත්තා."
අම්මා පැවසූ මෙය කුමන අන්දමේ සිද්ධියක්දැයි මට වටහාගැනීමට නොහැකි විය.
සඳුදා,බදාදා,සෙනසුරාදා වැනි කෙම්මුර දවස් වල එතන පුද පූජා පවත්වන බව අම්මා කීවාය.මමද පහුවෙනිදා සෙනසුරාදා වූ බැවින් සවස පිරිසත් සමඟ මහා නුග ගස අසළට අම්මා සමඟ ගියා. එතනට විශාල පිරිසක් එක්ව සිටියහ. ගමේ අයත් පිට ගම් වල අයත් දුරබැහැර ප්‍රදේශ වලිනුත් බොහෝ දෙනෙක් එතන එකතු වී සිටියහ.එතන දේවාලයක මෙන් මල් පැලක් ගසා මල් පහන් ආදී දේ පූජා කර තිබුණි. කොඩි වැල් ඇද සරසා තිබුණි. විවිධ ලෙඩ රෝග සඳහා භාර වූ අයගේ පඬුරු නුගයේ අතු වල ගැටගසා තිබුණි.පිළිකා රෝගීන්,ඩෙංගු රෝගීන්,වකුගඩු රෝගීන්,අන්ශභාගය සෑදුන රෝගීන් ආදී වූ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන්නන් මෙතනට සෙත් ශාන්තිය පතා එක් රැස් විය. එතන ආවතේව කටයුතු කරන්නටද ගමේ මාමා කෙනෙක් සිටී. ඔහු වයස හැටක් පමණ ඉක්ම වූ අවිවාහක පුද්ගලයෙකි. පුංචිබන්ඩා වන මොහු කලින් අසනීපය සුව වූ දරුවාගේ මාමා කෙනෙකි. ඔහුටද යම් බලයක් ඇබී ඇතැයි විශ්වාස කරන අතර වෙනදා මෙන් නොව ඔහු බෙල්ල ළඟට කොන්ඩය වවා එය මුදාගෙන සිටී. වෙනදා ඇඳි ඇඳුම් වෙනුවට සුදු සරම හා කමිසය අඳී. වෙනදා පුංචි බන්ඩා යැයි හැඳින්වූ ඔහු දැන් දේවාලෙ පුංචිබන්ඩා නමින් හඳුන්වයි.ඔහු කිසිඳු මුදලක් අය කර ගැනීමකින් තොරව නුගය ලග ආවතේව කටයුතු,රෝගීන්ට සෙත්පැතීම ආදිය සිදු කරනු ලබයි.ඔහු ඇතුළු ගම්මුන් සියළු දෙනාම මෙම නුගය ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටී. එම නුගයෙහි වෘක්ෂ දේවතාවක් වැඩවසන බවට විශ්වාස කරයි. එනෙන්ම මහා නාගයකු විසින් මෙය ආරක්ෂා කරන බවටද විශ්වාස කරයි.මෙහි කොළයකටවත් හානියක් කිරීමට කිසිවෙක් කැමති නැත. මෙය ගමට ලැබුණ සම්පතක් ලෙස කටයුතු කිරීමට ගම්මුන් හුරු වී ඇත.පෙරදී එතරම් විශේෂයක් නොමැතිව ගමට අලංකාරය එකතු කරමින් කුඹුර මැද තිබූ අපි කාටත් පුරුදු නුග ගස දැන් "මහා නුගය" නමින් හඳුන්වන,වැඳුම් පිදුම් ලබන, පූජනීයත්වයක් ලබන දේව වෘක්ෂයක් බවට පත්ව තිබීම මාහට පුදුමය දනවන කරුණකි. මා කුඩා කලද, මාගේ අම්මලා කුඩා කලද සෙවණට සිටි,සෙල්ලම් කළ මෙම නුගය සියල්ල වෙනස් කරමින් අද අලංකාරවත්ව ගම මැද ඉතාමත් ශෝභාමත් ලෙස ඉහළට අතු විහිදී මහා පූජනීයත්වයක් නතු කරගෙන විරාජමානව නැඟීසිටී.


ඩී.එම්.එන්.එම්.දිසානායක
HS/2015/0214
සාම්ප්‍රදායික සන්නිවේදනය