Tuesday, August 21, 2018

                           රියැලිටි ෂෝ



                 රියැලිටිය යනු යතාර්ථයයි. යතාර්ථය පෙන්වීම යනු "රියැලිටි ෂෝ" කියා හැඳින්වීමට හැකියි. මෙය බටහිර සංකල්පයන්  මත ගොඩනැගී පෙරදිගට සංක්‍රමණය වූ සංකල්පයක් ලෙස හැඳින්වීමට පුළුවන.
                 ශ්‍රී ලංකාවේද බටහිරින් ලැබෙන ඕනම දෙයක් තමන්ගේ කරගෙන තමන්ගේ දේ බවට පත් කර ගැනීමට නොපැකිළිව කටයුතු කරනු දක්නට ලැබීම සුලභ දසුනකි. එබැවින් "රියැලිටි ෂෝ" සකංකල්පයද ලංකාවේ රූපවාහිනී මාධ්‍ය වඩාත් හොඳින් සමීප කරගෙන ඇත. රියැලිටිය තුළින් දකින්නේ රියැලිටියට එහා ගිය මවාපෑමක් යැයි සිතීම ද වැරදි නොවන බව අපිට දකින්නට ඇති රියැලිටි ෂෝ දෙස බැලීමේදී සිතාගත හැකිය. බොහෝමයක් ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා හරහා "රියැලිටි ෂෝ" සංකල්පය සමාජගත කෙරේ. මේ සඳහා අධික ලෙස මුදල් වියදම් කරමින්,අමුතු අලංකාරයක් ආරෝපණය කරමින් රියැලිටියකින් ඔබ්බට ගිය ෆැන්ටසියක් මවාපානු ලබයි. බොහෝ රියැලිටි ෂෝ හරහා ඇතැම් විට ගායනයේ ස්වර පවා නිවැරදිව ගායනා කිරීමට නොදන්නවුන් මහා තරු බවට පත්වේ. එක රැයකින් තරුවක් බවට පත් වීමේ සිහිනය බොහෝ තරුණ තරුණියන්ගේ හදවත් තුළ පැළ කරනු ලබයි. තරුණ පරපුර වඩ වඩාත් මේ කෙරෙහි ආකර්ෂණය වේ.
                    රියැලිටිය තිබිය යුත්තේ ප්‍රේක්ෂක ජනතාවට යතාර්ථවත් ලෙස වින්දනයක් ලබා දී යතාර්ථවාදීව යමක් දෙස බැලීමේ දෘෂ්ටිකෝණය උදෙසාය. නමුත් රියැලිටිය යන්න අමුතුවෙන් ආරෝපණය කර ප්‍රසිද්ධිය හා තම නාලිකා වල නම පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියෙන් තොරව කරනු ලබන රියැලිටි ෂෝ වල අපි අපේක්ෂා කරන රියැලිටිය ගැබ්ව තිබේද? වර්තමානයේ කුඩා දරුවාගේ පටන් මහළු පුද්ගලයා දක්වා මෙම ආරෝපිත රියැලිටිය කෙරෙහි පොළඹවා ගැනීමට බොහෝ මාධ්‍ය ආයතන විසින් උත්සාහ දරනු ලබයි. ජනතාව අතරට ගෙන යා යුතු රියැලිටිය කුමක්ද? එය නිසි ප්‍රමිතියකින් යුතුව යතාර්ථවාදීව ඉදිරිපත් කළහොත් මීට වඩ සුන්දර "රියැලිටි ෂෝ" ගොඩනැගෙනු ස්ථීරය.

No comments:

Post a Comment